බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය (ILR) වසර 10ක් දක්වා දීර්ඝ වෙයි ද?

බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචිය (ILR) වසර 5 සිට 10 දක්වා දීර්ඝ කිරීමට Home Office නව යෝජනාවක් ගෙන එයි. මෙය ඔබේ නිවාස සිහිනයට සහ මූල්‍ය අනාගතයට බලපාන ආකාරය සහ ඊට මුහුණ දීමට දැන්ම කළ යුතු දේ මෙන්න.

UK Indefinite Leave to Remain ILR policy timeline 2026

දශක ගණනාවක් තිස්සේ බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට "වසර පහේ මාර්ගය" (5-Year Route) යනු ස්ථිර පදිංචිය (Indefinite Leave to Remain - ILR) ලබා ගැනීම සඳහා තිබූ ස්වර්ණමය අවස්ථාවයි. එය හුදෙක් වීසා බලපත්‍රයක් පමණක් නොව, ඔබේ ජීවිතය ස්ථාවර කරගැනීමටත්, නිවාස ණයක් (Mortgage) ලබා ගැනීමටත්, අවසානයේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබා ගැනීමටත් තිබූ පැහැදිලි කාලරාමුවයි. නමුත් අවාසනාවකට, එම සහතිකය දැන් අවදානමක පවතී.

බ්‍රිතාන්‍ය රජය විසින් යෝජනා කර ඇති නව සංක්‍රමණික ප්‍රතිපත්ති සංශෝධනයක් සඳහා වන මහජන අදහස් විමසීම (Consultation) එළඹෙන 2026 පෙබරවාරි 12 වැනිදායින් අවසන් වීමට නියමිතයි. මෙහි ඇති ප්‍රධානතම යෝජනාව වන්නේ ස්ථිර පදිංචිය සඳහා සුදුසුකම් ලැබීමට ගතවන සාමාන්‍ය කාලය වසර 5 සිට 10 දක්වා දීර්ඝ කිරීමයි. තාක්ෂණික, සෞඛ්‍ය සහ ඉංජිනේරු ක්ෂේත්‍රවල නියුතු අපගේ ප්‍රජාවට මෙය හුදෙක් නීතිමය වෙනසක් පමණක් නොව, වෘත්තීය ජීවිතයට එල්ල වන දැඩි බලපෑමකි.

නව යෝජනාව: "Earned Settlement" (උපයාගත යුතු පදිංචිය)

Home Office හි අරමුණ වන්නේ කාලය මත පදනම් වූ අයිතියක් වෙනුවට, ලකුණු පදනම් කරගත් "Earned Settlement" ක්‍රමයක් හඳුන්වා දීමයි. මින් ඉදිරියට වසර 5ක් සිටි පමණින් ස්ථිර පදිංචිය ලැබෙන්නේ නැත. ඒ වෙනුවට මූලික කාලරාමුව වසර 10ක් ලෙස සකසා ඇති අතර, ඔබට අවශ්‍ය නම් ලකුණු රැස් කරගනිමින් එම කාලය අඩු කරගැනීමේ ("Accelerate") අවස්ථාව හිමි වේ.

යෝජිත නව ක්‍රමවේදය සරලව මෙසේය:

  • මූලික පදනම: ILR සඳහා සුදුසුකම් ලැබීමට වසර 10ක අඛණ්ඩ පදිංචිය (මෙය දැනට පවතින වසර 5 වෙනුවට).
  • වේගවත් කිරීමේ ක්‍රමය (Points System): "සුවිශේෂී ඒකාබද්ධතාවයක්" (Exceptional integration) පෙන්නුම් කිරීමෙන් මෙම කාලය අඩු කරගත හැක. ඒ සඳහා යෝජිත නිර්ණායක පහත පරිදි වේ:
    • ඉහළ ආදායම්: ජාතික සාමාන්‍යයට වඩා සැලකිය යුතු ඉහළ වැටුපක් ලැබීම.
    • ප්‍රජා දායකත්වය: ස්වේච්ඡා සේවය හෝ ප්‍රජා නායකත්වය තහවුරු කළ හැකි මට්ටමේ තිබීම.
    • ඉංග්‍රීසි දැනුම: වර්තමාන B1 මට්ටමට වඩා ඉහළ (C1/C2) මට්ටමේ ඉංග්‍රීසි දැනුමක් තහවුරු කිරීම.

නොසලකා හැරිය නොහැකි සත්‍යය: කාසියක දෙපැත්ත

මෙම යෝජනාවලිය සියලු දෙනාට එක ලෙස බලපාන්නේ නැත. මෙහි පැහැදිලි බෙදීමක් (Divide) පවතී.

1. ඉහළ වැටුප් ලබන වෘත්තිකයින්ට සහනයක් (The Safety Net)

ලිපිය කියවන වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් සහ IT විශේෂඥයින් කලබල විය යුතු නැත. යෝජනාවේ සඳහන් පරිදි, යම් අයදුම්කරුවෙකු වසර 3-5ක කාලයක් තුළ පවුම් 50,270 කට වැඩි වාර්ෂික ආදායමක් ලබන්නේ නම්, ඔහුට නියමිත කාලයෙන් වසර 5ක් අඩු කරගැනීමේ (5-Year Reduction) විශේෂ වරප්‍රසාදයක් හිමි වේ. එනම්, ඔබ මෙම වැටුප් සීමාවට ඉහළින් සිටී නම්, ඔබට තවමත් වසර 5කින් PR ලබා ගැනීමේ අවස්ථාව සුරක්ෂිතය.

2. "උපාධි උගුල" සහ සාත්තු සේවකයින්ගේ වසර 15ක ඛේදවාචකය (The "RQF" Trap)

වඩාත්ම අමානුෂික යෝජනාව එල්ල වී ඇත්තේ සාත්තු සේවකයින් (Care Workers) සහ සහායක සේවා වෙතයි. රජය රැකියා වර්ගීකරණය කර ඇත්තේ අධ්‍යාපන මට්ටම (RQF Level) අනුවය.

  • යථාර්ථය: RQF Level 6 (උපාධියක්) ට වඩා අඩු රැකියාවල නියුතු අයගේ මූලික කාලය වසර 15ක් දක්වා දීර්ඝ කිරීමට යෝජිතය.
  • අවදානම: සාත්තු සේවකයින් (Care Workers), සූපවේදීන් (Chefs), ඉදිකිරීම් ශිල්පීන් සහ හෙද සහායකයින් (Nursing Assistants) අයත් වන්නේ RQF Level 3-5 කාණ්ඩයටයි. මොවුන්ට ස්ථිර පදිංචිය සඳහා දශක එකහමාරක් බලා සිටීමට සිදුවන අතර, එය ප්‍රායෝගිකව ඔවුන්ව රටින් පිටකිරීමේ උපාය මාර්ගයකි.

3. අතීතයට බලපෑම් කිරීමේ අවදානම (Retrospective Risk)

වඩාත්ම භයානක කරුණ නම්, මෙම ලේඛනය සංක්‍රාන්ති විධිවිධාන (Transitional arrangements) ගැන නිහඬ වීමයි. බොහෝ දෙනා සිතන්නේ මෙය අලුතින් එන අයට පමණක් බවයි. එය වැරදිය.

මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත 2026 අප්‍රේල් වන විට, කවුරුන් හෝ ILR ලබාගෙන නොමැති නම්, ඔවුන් සියලු දෙනා නව නීතියට යටත් විය හැක.

  • ඔබ 2020 දී හෝ ඉන් පසුව Student වීසා මත පැමිණියේ නම්, ඔබ Skilled Worker Visa වෙත මාරු වූයේ 2021 මැයි හෝ ඊට පසුව නම්, ඔබේ වසර 5 සම්පූර්ණ වන්නේ මෙම වෙනසින් පසුව ය.
  • එවිට නව නීතිය ක්‍රියාත්මක වී අවසන් බැවින්, 2020දී පැමිණි ඔබත් මෙම වසර 10 හෝ 15 ILR උගුලට හසුවීමේ දැඩි අවදානමක් ඇත.

කිසිවෙකු නොකියන කතාව

නිල වාර්තාවල සඳහන් නොවන නමුත් ඔබ අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු දෙකක් තිබේ:

  1. යැපෙන්නන්ගේ අයිතිය: ප්‍රධාන අයදුම්කරු ලකුණු ලබාගෙන වසර 6කින් ස්ථිර පදිංචිය ලබා ගත්තද, ඔහුගේ බිරිඳ/සැමියා සහ දරුවන්ට වසර 10ක් බලා සිටීමට සිදුවේද යන්න ගැන යෝජනාව නිහඬය. මෙය පවුලක් තුළ විවිධ වීසා මට්ටම් (Mixed-status family) නිර්මාණය වීමේ අවදානමක් ඇති කරයි.
  2. රැකියාව අහිමි වීමේ අවදානම: වසර 10ක කාලයක් තුළ රැකියාව අහිමි වීමේ සම්භාවිතාව වැඩිය. එක් වරක් රැකියාව අහිමි වීමෙන් ඔබේ "අඛණ්ඩ පදිංචිය" (Continuous residence) බිඳ වැටී නැවත මුල සිට කාලය ගණන් කිරීමට සිදුවීමේ අවදානම (Reset Danger) ඉතා ඉහළය. විශේෂයෙන් කෘතීම බුද්ධියේ නැගීම සමග IT ඇතුළු බොහෝ රැකියා ඉදිරි අවුරුදු කිහිපය තුල ස්වයංක්‍රීය කරණයට ලක්වීමට ඉඩ ඇත.

ඔබ දැන් කළ යුත්තේ කුමක්ද?

නිහඬව සිටීම එකඟ වීමකි. මෙම මහජන අදහස් විමසීම 2026 පෙබරවාරි 12 වැනිදායින් අවසන් වේ.

  • කලබල නොවන්න, නමුත් සූදානම් වන්න: ඔබේ වීසා අලුත් කිරීමට ආසන්න නම්, දැනට පවතින නීති යටතේ එය හැකි ඉක්මනින් සිදුකර ගැනීමට උත්සාහ කරන්න.
  • ඔබේ හඬ අවදි කරන්න: මෙම උපදේශන ක්‍රියාවලියට ප්‍රතිචාර දක්වන්න. විශේෂයෙන්ම, ඔබ එක්සත් රාජධානියට පැමිණියේ වසර 5ක පොරොන්දුවක් මත බවත්, නීති මැදදී වෙනස් කිරීම අසාධාරණ බවත් පෙන්වා දෙමින් "සංක්‍රාන්ති විධිවිධාන" (Transitional arrangements) ගැන දැඩිව අවධාරණය කරන්න.
  • Care ඇතුළු RQF 3-5 සේවකයන්: ඔබේ වෘත්තිය RQF මට්ටම මත පහත් කොට සැලකීම (Discrimination by skill level) සහ වසර 15ක් බලා සිටීමේ අසාධාරණය ගැන ලිඛිතව දන්වන්න.
  • Skill Migrants Alliance Limited: ශ්‍රී ලාංකික වෘත්තිකයන් හවුලක් විසින් ආරම්භ කර ඇති නීත්‍යනුකුල විරෝධතාවයට ඔබේ දායකත්වය හැකි සෑම අයුරකින්ම ලබාදෙන්න.
  • ඔබේ "ලකුණු" සූදානම් කරගන්න: දැන් සිටම ස්වේච්ඡා සේවය සහ වෘත්තීය ජයග්‍රහණ ලේඛනගත කිරීම අරඹන්න. නීති වෙනස් වුවහොත්, ඔබට හැකි සෑම ලකුණක්ම ලබා ගැනීමට සූදානම්ව සිටීම නුවණට හුරුය.

මෙය එක්සත් රාජධානියේ වෙසෙන අපේ ප්‍රජාවට තීරණාත්මක මොහොතකි. වසර 5 සහ 10 (හෝ 15) අතර වෙනස හුදෙක් කාලය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ; එය බ්‍රිතාන්‍යය තුළ යන්තම් ජීවත් වීම සහ සාර්ථකව දියුණු වීම අතර ඇති වෙනසයි.


මූලාශ්‍ර (Sources):